Thursday, June 13, 2013

Anusha Rajapakse New || මට උවමනා වෙලා තිබුණේ ගුවන් සේවිකාවක් වෙන්න.

අනූෂා රාජපක්ෂ. රුව දුට පමණින්ම හඳුනන ඇය අපේ කලා ලොවට නව නාමයක් නොවේ. ටෙලි නාට්‍ය කිහිපයකම කැපී පෙනෙන චරිත රඟපෑ අනූෂා පෙම්බරයාණෝ, නයිිට් ලර්නර්ස් වැනි ටෙලි නාට්‍ය හරහා තම ජනප්‍රියත්වය දෙගුණ තෙගුණ කර ගත්තියකි. මේ දිනවල විකාශය වන සත්‍යා හි ප්‍රධාන චරිතයකට පණ පොවන අනූෂා නිරූපණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛව වැජඹෙයි. මේ අනුූෂා සමඟ කළ කතාබහකි.

* අලුත් කටයුතුවලින් අරඹමු.
මේ දිනවල දිව්‍යා ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු සඳහා දායක වෙනවා. ඒ වගේම ප්‍රීතිරාජ් වීරරත්න මහතාගේ පළමු ටෙලි නාට්‍යයේ චරිතයකටත් පසුගිය දිනවල දායක වුණා.
ඒ වගේම ඉදිරියේදී ටෙලි නාට්‍ය කිහිපයකට ආරාධනා ලැබී තිබෙනවා.

* ස්වර චිත්‍රපටය ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක්.
ඔව්. තවම ‘ස්වර’ තිරගත වුණේ නැහැ. ඒ චරිතය (විහාරා) ඉතාමත් වෙනස් චරිතයක්. මේ චරිතය සමාජය කොහොම පිළිගනීවි ද කියලා මට කියන්න බැහැ. නමුත් නීටා ප්‍රනාන්දු වගේ සම්මානීය කෙනකු දායක වූ නිර්මාණයක් නිසා කිසිවකුත් මගේ චරිතය දෙස වපර ඇසින් බලන එකක් නැහැ. ඒ චරිතයට මා තේරුණේ අහඹු ලෙස. ඒ වෙනුවෙන් නීටා ප්‍රනාන්දු මහත්මියට වගේම යොලන්ඩා මහත්මියටත් ස්තුතිවන්ත විය යුතුයි. එවැනි දැවැන්ත නිර්මාණයකට දායකවීමට ලැබීම වාසනාවක්.

* ඔබ ප්‍රසිද්ධ නිරූපිකාවක්. දැන් ඉන් ඉවත් වෙලාද?
නැහැ. මං තවමත් නිරූපණ ක්ෂේත්‍රයේ කටයුතු සමඟ සම්බන්ධ වෙලා කටයුතු කරනවා.

* නිරූපිකාවන් නිළියන් වීම ප්‍රතිචාර කොහොමද?
මෙහෙමයි. දැන් ක්ෂේත්‍රයේ හැමෝම හොයන්නේ ලස්සන අලුත් මුහුණු. ඒ නිසා හතු පිපෙනවා වගේ නිරූපිකාවෝ නිළියො බවට පත් වෙනවා. නිරූපිකාවෝ විතරක් නෙවෙයි ලස්සන ළමයි එක රැයින් නිළියො වෙනවා. නමුත් ඒ නිළියන්ට, නළුවන්ට පැවැත්මක් නැහැ. ඔවුන් යන්නේ අස්ථාවර මඟක. රඟපෑම කියන්නේ වෙනස් විෂයක්. ඒකට හැකියාව වගේම ආසාව, උනන්දුව තිබිය යුතුය. රඟපාන්න හැමෝටම බැහැ.

* ඔබ නිරූපිකාවක් වූ මුල් අවධියේ නිළියක් වෙන්න හීන දැක්කද?
මම නිරූපිකාවක් වුණේ අහම්බෙන්. මට උවමනා වෙලා තිබුණේ ගුවන් සේවිකාවක් වෙන්න. ඒ අතරතුර මං නිරූපිකාවක් වුණා. හැබැයි මං ස්ථාවර මඟක තමයි පළමු පියවර තිබ්බේ. එතන ඉඳන් ඉතාමත් උනන්දුවෙන්, අධ්‍යාපනයෙන් තමයි මෙතනට ආවේ. නිරූපිකාවක් වූ විට මට නිළියක් වෙන්න ආසාවක් ඇති වුණා. නමුත් මං ඊට ඕනවට වඩා කලබල වුණේ නැහැ. ඉතාමත් පරිස්සමෙන් තමයි මං රඟපෑමට යොමු වුණේ.

* ඔබ කරන චරිත ඒකාකාරියි?
ඔව්. මං ඒක පිළිගන්නවා. මට නිරතුරුවම ලැබෙන්නේ බටහිර විලාසිතාවලට ප්‍රිය කරන ධනවත් පන්තියේ චරිත. බොහෝවිට මං නිරූපිකාවක් ලෙස පෙනී සිටින විලාසිතාවන් ඊට බලපාන්න ඇති. ඒ චරිත බොහෝ විට ඒකාකාරී ගති පැවතුම්වලින් හෙබි බටහිර කාන්තාව නියෝජනය කරනවා.

* හද්දා පිටිසර ගැමි චරිතයක් දුන්නොත් ඔබ ජිවත්වන සමාජ රටාවන් අනුව ඊට අනුගත වෙන්නට හැකි වේවිද?
අනිවාර්යයෙන්ම. ගැමි චරිත කරන්න මං ගෙඩක් ආසයි. ඒත් මට ඒ චරිතයක් කවුරුන් ලබාදේවි ද කියන ප්‍රශ්නය මගේ හිතෙත් තියෙනවා. නමුත් මධ්‍යම පාන්තික තරුණිය නියෝජනය කරන්න මං ගොඩක් කැමැතියි.

* මේ ජීවිතේ ගැන තෘප්තිමත්ද?
ඔව්. මං ගොඩක් දේවල් බදාගෙන බොරුවට කාර්යබහුල වෙන්න කැමැති චරිතයක් නෙවෙයි. මට ඕනේ නිදහසේ ජීවිතය විඳිමින් කලාව සහ මගේ නිරූපණ කටයුතුවලට එකතු වෙන්න. මේ ගෙවෙන සෑම තත්පරයකම මම ඉන්නේ සතුටින්.

* ඔබ චරිත තෝරනවද?
නිර්මාණයකට දායක වෙද්දී තමන්ගේ චරිතය ගැන දැනුවත් වීම අනිවාර්යයි. මම මගේ චරිතය සහ ඒ වටාපිටාව ගැන වගේම කතාව ගැනත් හොයනවා. ඒ වගේම මට වසරකට එක නාට්‍යයක් කළාම ඇති. හැමදාම දකින්න ඉන්න, අතිශය ජනප්‍රියත්වයට පත්වෙන්න මට උවමනා නැහැ.

* ඉදිරිය කොහොමද?
ඉදිරියේදී ලොකු, දැවැන්ත කටයුතුª කියල දෙයක් හිතේ නැහැ. පුංචි පුංචි බලාපොරොත්තු ගොඩක් තියෙනවා. කලාවෙන් ඉදිරියට යන ගමනේ ජීවිතයත් ඉදිරියට අරන් යන්න ඕනේ.

* ලංකාවේ නිළියක් වීම පිළිබඳ තෘප්තියෙන්ද ඉන්නේ?
අනිවාර්යයෙන්ම. ජනතාව ආදරය කරන කෙනෙක් වීම ගැන මට හරිම සතුටුයි.

* ඊ මෙල් එක කියමු?
anjelanushar@gmal.com

Sunday, June 9, 2013

කොට ගවොම් අදින අලුත් නිවෙදිකාව- හිමායා || Upcoming Actress Anju Himaya

සිකුරාදා හැන්දෑවට ස්වර්ණවාහිනී නාලිකාවේ Good Af ternoon Sri Lanka වැඩ සටහනත් රැගෙන එන ඇය අංජු හිමායා බණ්ඩාර. හිම කඳුළු, වන්දනා, සුදු ගින්දර ඇතුළු ටෙලි නාට්‍ය පහළොවක පමණ තමන්ගේ දස්කම් දැක් වූ ඇය මේ දිනවල කතාබහට ලක්වන්නේ නිවේදිකාවකගේ භු®මිකාව හරහායි.

මේ අංජු සමඟ කළ කතාබහකි.
නිවේදන වෘත්තිය ඉතාමත් පරෙස්සමෙන් හසුරුවා ගත යුතු භාවනාවක් වගේ කියලයි මට හිතෙන්නේ. ඒ් වගේම ඒ සඳහා හොඳ හැදෑරීමක් ද තිබිය යුතුයි. ලෝකය ගැන වගේම අපේ රසිකයන්ගේ හෘද ස්පන්ධනය ගැනත් නිවේදකයාට දැනුමක් තිබිය යුතුමයි. ඒ හැදෑරීම හරහා අප ඉදිරියේ සිටින පුද්ගලයාට උසස් රස වින්දනයක් ලබා දෙන්නට හැකි වේවි.
* නිවේදිකාවක් කියන්නේ තරමක් භාරදූර වගකීමක්. ඔබ ඒ වගකීමට සුදුසුය කියල හිතනවද?
වගකීමක් දරන්න සුදුසුකමක් තිබිය යුතුමයි. ඒ වගේම ඒ සුදුසුකම සපුරා ගන්නට හැදෑරීමත් අත්‍යවශ්‍යයි.

* හිම කඳුළු ටෙලි නාට්‍යයේ කෞෂි, වන්චනා ටෙලි නාට්‍යයේ තාරුකා සාමාන්‍ය සරල චරිත තමයි ඔබට ලැබුණේ. කලාත්මක නිර්මාණයකට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?
මෙහෙමයි. මං රඟපෑ චරිත සියල්ලටම එක ලෙස ආදරෙයි. මං වඩාත් කැමති සරල සාමාන්‍ය යථාර්ථවාදී චරිතවලටයි. එදිනෙදා සමාජයේ දකින්නට ලැබෙන චරිත සමඟ ගනුදෙනු කරන්නට මං වඩාත් කැමැත්තක් දක්වනවා.

* ක්ෂේත්‍රය ගැන මොකකද හිතෙන්නේ?
ඉතාමත් අවබෝධයෙන් සිහි බුද්ධියෙන් ඇවිද යා යුතු දිගු දුෂ්කර මාවතක්.

* බොහෝ නිවේදිකාවන්ට නැෙඟන චෝදනාවක් තමයි වචන හිඟ බව. ඔබටත් කවුරුන් හෝ එහෙම චෝදනාවක් කළොත්?
ඕනෑම කලාවක් ප්‍රගුණ වන්නේ කාලය සමඟයි. මගේ බොහෝ අඩුපාඩු ඇති කියලා මං දන්නවා. ඒවා හදාගන්නට හැමෝගේම අදහස් අවශ්‍යයි. වචන හිඟ බව ඇති වෙන්නේ හරි කියවීමක්, හැදෑරීමක් නැති වුණාම කියාල මං හිතනවා. ඒ නිසා හැකි හැම විටම මං මගේ ශබ්ද කෝෂයට අලුත් දෙයක් එක්කර ගන්නට උත්සාහ කරනවා.

මේ කෙටි කතාවේ අවසානය?
මේ වෙලාවේ මට උදවු දුන් හැමෝටම ස්තුතිවන්ත විය යුතුයි. ඒ වගේම විශ්වනාත් විජේසූරිය, බුද්ධික කුලසේකර සහ මනෝජ් දිසානායකටත් ස්තුතිය පුද කළ යුතුමයි.




Blog Archive