Sunday, June 9, 2013

ජිවිතේ හරිගිය වැරදුන තැන් ගැන නිල්මිනි කියයි || Nilmini Thennakon Update


ඇය ප්‍රේක්‍ෂක ආකර්ෂණය නිබඳව හිමිකර ගත් රංගන ශිල්පිනියක්. එදා මෙදා තුර පුංචි තිරයෙන් ඇයගේ හැකියාව ඉස්මතු වුණා. විවිධාකාර චරිතයන්ට පණපොවමින් රංගනයේ යෙදුණ ඇය අන් කවුරුත් නොවෙයි. ඇය නිල්මිණි තෙන්නකෝන්. නිල්මිණි සහ ඇයගේ ආදරණීය දියණිය ශ්වේතා අද ආර්යා කවරය සරසනවා.
 
කොහොමද ජීවිතේ?
ජීවිතේ හොඳින් සුන්දරව ගෙවෙනවා.
මේ දවස්වල පේන්න නැහැ නේද?
පේන්න නැත්තෙමත් නැහැ. ඒත් හොඳ ටෙලිනාට්‍ය නැහැ. ඒ නිසා සහභාගිත්වය අඩුයි. ඒ වගේම සැලුන් එක පැත්තෙනුත් ටිකක් කාර්යබහුලයි. ටෙලිනාට්‍ය ආරාධනා ලැබුණත් හරියාකාර චරිතයක් ලැබුණේ නැහැ.

එදා මෙදා තුර ඔබගේ රඟපෑම් ගැන කොයිතරම් දුරට තෘප්තිමත්ද?
අද වන විට මට කලාවෙන් හම්බකර ගත් හොඳ දේවල් තියෙනවා. කලාකාරිනියක් විදියට ඒ තමයි මට තියෙන එකම ධනය. ඒ වගේම හැම චරිතයක් ගැනම මම තෘප්තිමත්. 'දියසුළි' යේ 'සරෝජිනි' චරිතය හැමදාම මගේ මතකයේ රැඳුණු චරිතයක්.

රූපලාවණ්‍යාගාරයේ කටයුතු කොහොමද?
මම විදේශ රටවලින් රූපලාවණ්‍ය පිළිබඳ හදාරලා මුලින්ම මනාලියන්ට ඇන්දවීමේ ව්‍යාපාරයක් ආරම්භ කළා. 1992 වර්ෂයේ සැලුන් එක ආරම්භ කළා. මගේ දක්‍ෂතාව හා උත්සාහය නිසා අද වන විට දියුණු තත්ත්වයට පත්වෙලා තියෙනවා.

ඔබේ රූපලාවණ්‍ය කටයුතු කර ගන්නේ ඔබමද?
ඔව්. මමමයි. ඒ විතරක් නෙමෙයි මගේ සැලුන් එකට ලස්සන වෙන්න එන හැමෝම ලස්සන වෙන්නේ මගේ අතින්. මම "හම" සම්බන්ධයෙන් විශේෂ සත්කාර කරනවා.

දුව ගැනත් කියමු.
දුව ශ්වේතා මන්දාකිණි. දැන් වයස 11යි. 6 වැනි ශේ‍ර්ණියේ ඉගෙනුම ලබනවා.
දුව වැඩිපුරම දක්‍ෂතා පෙන්නන්නේ මොනවටද?
ඉගෙනීමට ගොඩක් දක්‍ෂයි. ඒ වගේම සංගීතයට දක්‍ෂයි. පියානෝ වාදනයටත් ගායනයටත් විශේෂ හැකියාවක් තියෙනවා. සංගීත කටයුතු සම්බන්ධයෙන් සම්මාන සහතික පවා ලබාගෙන තියෙනවා.


දුවගේ දකින විශේෂ ලක්‍ෂණ මොනවාද?
ශ්වේතා ගොඩක් පොත් පත්වලට ළැදියි. ගොඩක් පොත්පත් කියවනවා. ශ්වේතාට පොඩි කාලේ තෑගි විදියට මම අරන් දුන්නේ පොත්. ඇය බෞද්ධ පත පොත වැඩි වශයෙන් කියවනවා. ඇත්තටම ශ්වේතා ආගමට දහමට ළැදියි.
ශ්වේතා සැලුන් එකට ඇවිත් හැඩ වෙනවද?
අපෝ ඔව්. මොනා කළත් මම මොකුත් කියන්නෙ නෑ. ඒ වගේම සැලුන් එකක් ආරම්භ කිරීමට අදහස ශ්වේතාගේ දැනට අවුරුදු කිහිපයකට කලින් එයා කිව්වා අම්මේ අපි සැලුන් එකක් දාලා එස්.එන්.එම්. කියලා නම් දාමු කියලා.

එස්.එන්.එම්. කියන්නේ?
ශ්වේතා. නිල්මිණි. මන්දාකිණි.
දුවගෙ අමතක නොවන දඟවැඩ තියෙනවද?
මේ ළඟදි දවසක් මම සැලුන් එකේ හිටියේ. චම්පා කල්හාරි ඇවිල්ලා හිටියා. චම්පාගේ පුතත් එක්ක ශ්වේතා දුවලා එයා වැටිලා. මම බලන කොට නළල පැළිලා ලේ එනවා. ඇත්තටම මම කෑගහලා ඇඬුවා. එයා කිව්වා අම්මේ අඬන්න එපා ඕකේ ඕකේ කියලා. මම එතැනම ක්ලාන්ත වුණා. දුවව හොස්පිටල් ගෙනයන්න උදවු කළේ චම්පා.

දුවගේ අනාගතය සැලසුම් කරලද තියෙන්නේ?
ඒ දේ අනාගතයට භාරදෙනවා. මට ඇත්තටම දුවගේ අනාගතය පැහැදිලියි. ඇය අධ්‍යාපනය පැත්තෙන් ඉහළටම යයි. සංගීතය ගැනත් උනන්දු නිසා විනෝදාංශයක් ලෙස එය තෝරා ගනී කියලා හිතනවා.

දුවගේ රංගන හැකියාවක් තියෙනවද?
රඟපාන්න හැකියාවක් තියෙනවා. ඒත් එයා වැඩිපුරම කැමැති නැහැ. ශ්වේතාට ආරාධනා කිහිපයක්ම ලැබුණා. අධ්‍යක්‍ෂ ඇවිත් මුලින් කියනකොට එයා කැමැති වෙනවා. පස්සේ මේ දිනේට එන්න කිව්වම බෑ කියනවා. ඒ නිසා මම ඒවට උනන්දු කරන්නේ නැහැ.

ආපසු හැරිලා බලන විට ජීවිතේ ගැන මොනවද හිතෙන්නේ?
ජීවිතේ කලකිරීමක් නැහැ. සිද්ධවූ සියල්ල අතීතයට භාර දෙනවා. දෛවයෙන් මට ලැබිය යුතු දේවල් ලැබිලා තියෙනවා. නැති දේවල් ගැන දුක් වෙන්නේ නැහැ.

ජීවිතේ වැඩිපුරම තියෙන්නේ හරිගිය තැන්ද වැරදුණ තැන්ද?
මම හිතනවා මට බහුතරයක් තියෙන්නේ හරිගිය තැන් කියලා. මට හිතෙනවා මගේ ජීවිතේ අංගසම්පූර්ණයි කියලා.

ජීවිතේ වැරැදීම් සිද්ධ වෙන්න ප්‍රධාන හේතුව විදියට දකින්නේ මොකක්ද?
බොරු කීම, වංචා කිරීම, ගරුත්වය නැතිකම, ඒ වගේම අනුන්ගේ දේවල් සූරා කෑම, අනුන්ගේ දේවල්වලට හොට දැමීම, කෙනකුට පාඩුවේ ජීවත් වීමට ඉඩ නොදීම වගේ දේවල්.

ජීවිතේ අභියෝග, ප්‍රශ්න හමුවේ ජීවිතේ ජයගන්න ශක්තිය ලැබුණේ කොහොමද?
මම පොඩි කාලේ සෙල්ලමට විනෝදයට බර දඟකාර ළමයෙක්. ඇත්තටම ප්‍රශ්න කියන්නෙ මොනවද කියලාවත් දන්නේ නැහැ. ඒත් නොසිතූ විදියට ගඟක් වගේ ප්‍රශ්න ආවා. ඒවාට සෘජුවම මුහුණ දුන්නා. මම වැරැදි කළේ නැති නිසා ඒවට සාර්ථකව මුහුණ දෙන්න හැකි වුණා. ඒ වගේම මම බුදුදහමත් එක්ක ජීවත් වෙන කෙනෙක්. බුදුදහම මට විශාල පිහිටක් වුණා.

ලයනි රසිකා නිරෝෂණී
ඡායා - හර්ෂණී පෙරේරා

Blog Archive