අමිල සහ තේජා” යන මේ යුවළ දන්නා හඳුනන මිතුරෙක් හිටියා. ඒ මිතුරා නිසා තමයි අමිලට තේජාවත්, තේජාට අමිලවත් හඳුනාගන්න ලැබුණෙ. ඒ විදියට මේ දෙන්නා හඳුනා ගත්තෙ 2003 අවුරුද්දෙයි. ඒ හඳුනාගැනීම කොච්චර නම් දුර දිග ගියා ද කිව්වොත් 2010 වසරේ දී මේ දෙදෙනාගේ විවාහය සිදු වුණා. මේ අමිල කවුද කියලා ඔබට අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. පුංචි තිරේ පෙම්වතා ලෙස නිරන්තරයෙන් හමුවන චරිතයක්. මේ දිනවල අමිල ගැන වැඩිපුර කතා වන්නේ ”මුතුවරුසා” නාට්‍ය මාලාව නිසයි. අමිලගෙ ආදරණීය බිරිඳ තේජා නම් විවාහයෙන් පසුව අපට හමුවන ප්‍රථම අවස්ථාව මෙයයි. වෘත්තියෙන් ගුවන් සේවිකාවක වන ”තේජා” ඒ නිසාම තරමක් කාර්ය බහුලව සිටින බව කියන්න පුළුවනි. කොහොම වුණත් පසුගිය දවසක මේ දෙන්නා අපට හමුවුණා. හමුවෙලා තේජා අමිල ගැනත්, අමිල තේජා ගැනත් කියූ දේ සටහන් වන්නේ මේ විදියටයි.
ඒක හරි අමාරු ප්‍රශ්නයක්. කෙනෙක්ට හිතගියේ මෙන්න මේ වගේ දේ නිසා කියලා එක පාරටම කියන්න බැහැ. ඒත් අමිල කතා කරපු විදිය මට දැනුණා. ඒක බොරුවට පෙන්වන දෙයක් නොවන වග තේරුණා. ඒ වගේම තවත් ගොඩාක් හේතු තිබුණා. හැබැයි මේ විදියට විවාහය ගැන එක පාරටම හිතුවෙ නැහැ. අපි මිතුරන් ලෙස කාලය ගත කරද්දි අපි දෙන්නට-දෙන්නා ගැළපෙන බව තේරුම් ගියා.
හරිම සතුටුයි. එයා, එයාගෙ වෘත්තියෙන් ඉදිරියට ගිහින් ස්ව උත්සාහයෙන් එදාට වඩා දියුණු වෙලා. ජීවිතය අවබෝධයෙන් ගත කරන බව පෙනෙනවා. ජීවිතයට අවශ්‍ය එයයි.
කොහොම වුණත් නළුවකුට පෙම්වතාගෙ චරිතයෙන් ඈත්ව සිටින්න බැහැ. ඔහු නිරන්තරයෙන් කැමරාව ඉදිරියේ පෙම්වතා වන විට, ඔබට ඒ ගැන දැනෙන්නේ කොහොමද?
ඒ අවබෝධය ඇතිව තමයි මම විවාහ වුණේ. ඒක එයාගෙ වෘත්තිය. රඟපෑමට බාධා කරන්න ගියොත්, එයාට එය හරියට කරන්න බැරිවෙනවා. මානසික නිදසහට බාධා කරන්න මම කැමති නැහැ. එයා මේ ක්ෂේත්රයෙන් ඉදිරියට යන්න නම් එයාට ගැළපෙන චරිත සමග රඟපාන්න වෙනවා. කොහොම වුණත් මුල් කාලයේ දී මට මේ ගැන අවබෝධයක් තිබුණෙ නැහැ. ඒත් දැන් නම් ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. එයා ටෙලි නාට්‍යයේ රඟපාන චරිතය ගෙදරට ගෙනෙන කෙනෙක් නෙවෙයි. ගෙදරට රඟපාන දේවල් ගෙනාවොත් මට එය දරාගන්න බැරිවෙයි. එය නළුවකුට විතරක් නෙවෙයි ඕනෑම කෙනෙකුට එහෙමයි.