රජරට නගරයක පිහිටි පාසලකි. එහි සිසු දරුවනට නොමිලයේ දිවා ආහාර වේල රජයෙන් සැපයේ.
නියමිත ප‍්‍රමිතියට සකස්කළ ආහාර වේලක් සිසුනට ලබාදීම සඳහා වට්ටෝරුවක් ලබා දී ඒ පිළිවෙළට කෑම සැපයීම කෙරෙහි අදාළ කොන්ත‍්‍රාත්කරුට උපදෙස් දී තිබේ.
ආහාරවේල සකස් කරගෙන පසුගිය දිනෙක කොන්ත‍්‍රාත්කරු පාසලට ආවේය. ප‍්‍රාථමික අංශයේ සිසු දරු දැරියන් අතර බෙදාදීමට ඔහු රැුගෙන විත් තිබුණේ කුරක්කන් රොටී සහ ලූණු මිරිස් සම්බෝලයකි.
සිසු දරු දැරියෝ ඒවා ආහාරයට ගනිමින් සිටියහ. පන්ති බාර ගුරුතුමිය ද වෙනත් කාර්යයක නියැළෙමින් සිටියාය. ස්වල්ප වේලාවක් යනවිට ආහාර ගනිමින් සිටි සිසුන් කෑ ගසන්නට විය.
”ඇයි මේ කෑ ගසන්නේ?” ගුරුවරිය ඇසුවාය.
”ටීචර්.... මේ... මේ... රොටී හයියයි. මගේ දතක් කැඩුණා...” ගුරුවරිය ඒ ගැන අවධානය යොමුකරන විටම තවත් සිසුවියක් කෑ ගසමින් ”අනේ ටීචර්, මේ මගේ දතත් කැඩුණා...” යි කීවාය.
ගුරුවරිය කුරක්කන් රොටී පරීක්ෂා කර බැලීය. ඒවා පොඩි දරුවකුට තබා වැඩිහිටි අයටවත් ආහාරයට ගත නොහැකි බව ඇයට පෙනිණ. ඇය ඒ පිළිබඳව වගකිවයුතු අංශ දැනුම්වත් කළාය.