Wednesday, March 6, 2013

චංගුමීට වගේ මටත් හරියට කුමන්ත්‍රණ- ගීතා කුමාරසිංහ


‘ගැහැනියකට කළ නොහැක්කක් නොමැත ...’

ඒ ඇගේ ජීවිතයේ උදාන වාක්‍යයයි. නැතහොත් ආදර්ශ පාඨයයි. හෙළ සිනමාවේ වාසනාවන්තම නිළිය සේ කිරුළු පළන් ඈ ජනප්‍රියත්වය, කීර්තිය, අභිමානය, මිල මුදල් මෙකී නොකී සියල්ල පසෙක ලා දේශපාලන භූමිකාවට පිවිසියේ එකී අයෝමය ශක්තිය පිළිබඳ දැඩි විශ්වාසයකිනි.

ගීතා සමන්මලී කුමාරසිංහ, ඒ දිරිය ගැහැනියයි.

සිනමාව සොඳුරු අතීත මතකයක් පමණක් බවට පත් කරමින් ඈ අද දවසේ සිය ජීවිතය කැප කර ඇත්තේ ජනතා සේවය වෙනුවෙනි. ඒ ජනතා මෙහෙවර හරහා ඈ වඩාත් උත්සුක වන්නේ අපේ රටේ කාන්තාවන්ගේ ගැටලු, ප්‍රශ්න සඳහා යම් පිළිසරණක් වන්නටය.
මාර්තු 08 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කරගෙන ගීතා සුවිශේෂ කාර්යයකට අත ගසා තිබේ. ඒ පිළිබඳ කතාබහකට අප හමු වූ අවස්ථාවේ ඇගේ දේශපාලන හා සිනමා දිවිය දෙසට ද අවධානය යොමු වූයේ නිරායාසයෙනි.

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් මාර්තු 08 වැනිදා බෙන්තර දී අපි ‘ගාමිණී ලිය අබිමන්’ ගාලු දිසා රූසර මංගල්‍යය පවත්වනවා. විශේෂයෙන්ම මා නියෝජනය කරන ගාල්ල දිස්ත්‍රික්කයේ රුවැති – ගුණැති ළඳුන් වෙනුවෙන් රූපලාවණ්‍ය වැඩමුළුවක් මෙන්ම තවත් විශේෂ වැඩ සටහන් එදින පැවැත්වෙනවා. ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී ප්‍රේමසිරි හේවාවසම් විසින් මනාලියන් හැඩගන්වන අන්දම ප්‍රයෝගිකව කරලා පෙන්වනවා. ඊට අමතරව තුසිත බෝපගේ, සමන්ත ප්‍රනාන්දුගේ මනාලියන් හැඩ ගැන්වීමේ අවස්ථාවත් එදාට දැකගන්නට පුළුවන්.

ඇයි මෙවැනි කටයුත්තකට මුල පිරුවේ?

අද රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට බොහෝ අය නැඹුරු වුණ යුගයක්. එදා වගේ නෙවෙයි. අද බොහෝ දෙනෙක් මේක වෘත්තියක් බවට පත්කරගෙන තිබෙනවා. ලංකාවේ පළමුවැනි සිනමා නිළිය මම, රූපලාවණ්‍ය විෂයයට අත ගහපු. කිසිම කෙනෙක් ඒ වගේ දෙයක් ගැන හිතපුවත් නැති කාලෙකදී මම ප්‍රංශය, එංගලන්තය වගේ රටවලට ගිහින් රූපලාවණ්‍ය පිළිබඳ හදාරලා ඇවිල්ලා රූපලාවන්‍යගාරයක් පවත්වාගෙන ගියා ‘සැලෝන් ගීතා’ නමින්. ඒ කාලයේ මම පුවත්පත් සමඟ මේ රූපලාවණ්‍ය කටයුතු පිළිබඳ බොහෝ විශේෂාංග ඉදිරිපත් කළා. පාඨක පැනවලට පිළිතුරු සැපයුවා. අපේ සිනමා නිළියන්ට මෙවැනි ක්ෂේත්‍රයකට වුණත් අත ගහන්න පුළුවන් කියන එක මුලින්ම පෙන්නලා දුන්නේ මම. ඉන් පස්සේ තමයි බොහෝ අය මේකට නැඹුරු වුණේ.

ගාල්ලේ ළඳුන්ට මේක හොඳ අවස්ථාවක්?

ඔව් . . . ගාල්ලේ විශේෂයෙන්ම බෙන්තර ප්‍රදේශයේ කාන්තාවන් උදෙසාමයි මෙය සංවිධානය වෙන්නේ. ඔවුනගේ දක්ෂතා හඳුනා ගන්න, රටට පෙන්වන්න මේක හොඳ අවස්ථාවක්. රූපලාවණ්‍යය ස්වයං රැකියාවක් බවට පත්කරගත් බොහෝ අය අද ඉන්නවා. ඒ වගේම ලස්සනට ඉන්න අද හැමෝම වගේ දක්වන්නේ ලොකු උනන්දුවක්. නියපොතු ටික ලස්සන කරගන්න, හොඳට ඇඳුමක් අඳින්න, මේකප් එකක් දාගන්න, මඟුල් ගෙදරක යනකොට හෙයාර් ස්ටයිල් එකක් දාගන්න, සාරියක් අන්දා ගන්න වගේ දේවල්වලට හරියට උනන්දු වෙනවා. බිම් මට්ටමේ බොහෝ රූපලාවණ්‍ය ශිල්පීන් ඉන්නවා. සමහර අයගේ දැනුම ගැන සෑහීමකට පත් වෙන්න බැහැ. මොකද අපට තේරෙනවා ඒ අය නිසියාකාර පුහුණුවක් නොලබපු අය බව. එහෙමනම් අපි ඒ අයට අවස්ථාවන් උදා කරලා දෙන්න ඕනෑ. මම ඒ අය වෙනුවෙන් දිගින් දිගටම වැඩමුළු කරන්නත් හිතාගෙන ඉන්නවා. ඒකේ ආරම්භය තමයි මේ.

‘රුවැති, ගුණැති කාන්තාවක්’ යන්නයි ඔබේ තේමාව?

කාන්තාවකට රුව විතරක් තිබිලා වැඩක් නෑ. ගුණවත් වෙන්නත් අවශ්‍යයි. ගුණවත්කම පමණක්ම මදි. රුවත් තියෙන්න ඕනෑ. එතකොටයි පරිපූර්ණ ගැහැනියක බවට ඈ පත්වෙන්නේ. රුවැති, ගුණැති කාන්තා පරපුරක් බිහි කිරීමේ අභිලාෂයෙන් තමයි මම මේ කටයුත්තට අත ගැහුවේ. රටක් කොයි තරම් දුරට පොහොසත් ද, රටක් කොයි තරම් දුරට සංවර්ධනය වෙලා ද කියලා බලන ප්‍රධාන අංගයක් තමයි අඳින, පලඳින විදිහ. මට මතකයි මම සිංගප්පූරුවට ගිය වෙලාවක එහෙ අය කිව්වා, ‘අපේ ගෘහ සේවිකාවන් හොඳයි, නමුත් ඒ අයගේ කොණ්ඩ හරි කිලුටුයි’ කියලා. උකුණො පිරිලා, කොණ්ඩ කපන්නේ නෑ ඒගොල්ලො. ඉතිං ඒ කාලේ ඒගොල්ල දැනුවත් වෙලා හිටියේ නෑ. අද එහෙම නෙවෙයි, හොඳ ෂැම්පෝ භාවිතයෙන් කොණ්ඩෙ පිරිසුදු කරගන්නා හැටි, ලස්සන කර ගන්න හැටි ගැන ඒ අයට හොඳ අවබෝධයක් තියෙනවා.

නවකයන්ගේ දක්ෂතා උරගා බැලීමට එදාට හොඳ අවස්ථාවක් ලැබෙනවා. ඒ ගැනත් කතා කරමු?

ඇත්තෙන්ම එදාට අපි සංවිධානය කර තිබෙන ප්‍රධාන අංගය තමයි මනාලියන් හැඩගැන්වීම. මේක තරගයක් ලෙසයි පැවැත්වෙන්නේ. ජයග්‍රාහකයන් තෝරද්දී අපි විශේෂ අවධානය යොමු කරන්නේ කොයි තරම් චාම්ව, සරලව සහ මනාලියගේ රූසපුවට ගැළපෙන විදිහට ඒ විලාසිතා ඉදිරිපත්කර තිබෙනවාද කියායි. අලුතින් හිතලා, අලුත් විදිහකට කරන මෝස්තර නිර්මාණ ගැන අපි වඩාත් සැලකිලිමත් වෙනවා.

ජයග්‍රාහකයන්ට විශේෂ තෑගි බෝගත් පිරිනැමෙනවා?

ඔව්. පළමු , දෙවැනි සහ තෙවැනි ජයග්‍රාහකයන්ට ගුවන් ටිකට්පත් පිරිනමනවා සිංගප්පූරුවට, ඉන්දුනීසියාවට සහ තායිලන්තයට. ඊට අමතරව අපි තව ජයග්‍රාහකයන් දස දෙනකු තෝරා ඔවුන්ටත් වටිනා තෑගි ලබා දෙනවා. ඒ වගේම සහභාගි වන හැමෝටම වටිනා සහතිකය බැගින් ප්‍රදානය කිරීමටත් අපි කටයුතු යොදා තිබෙනවා.

ඔබේ විරුද්ධවාදීන් නම් කියයි ‘මේක ගීතා නෝනගේ දේශපාලන ගුංඩුවක්’ කියලා?

සිනමාවේත් දේශපාලනය තියෙනවා. එහෙමනම් නාට්‍ය කලාවේත් එහෙමයි. මොකක්ද මේ දේශපාලනය කියන්නේ. මිනිසුන් වෙනුවෙන් කරන්න හදන යම්කිසි දෙයක්. එතකොට මේ කටයුත්ත දේශපාලනයට වඩා සමාජ සත්කාර්යයක් හැටියටයි මම හඳුන්වන්නේ. අපේ කාන්තාවන් සැමරීම තමයි එදාට කෙරෙන්නේ.

කොහොම වුණත්, ඔබ දේශපාලනයට ගියාට පස්සේ මම හිතන්නේ රූපලාවණ්‍ය කටයුතු ගැන තිබුණ උනන්දුව අඩුවෙලා වගේ. මම කියන්නේ ඔබ ගැන?

ජීවිතයේ එක් එක් කාලවලදී අපි එක් එක් තලවලට එනවා. මම එදාට වඩා වෙනස් විදිහටයි අද හිතන්නේ. ජනතාව එක්ක එකට ගමන් කරමින්, ජනතාවගේ දුක හඳුනන ගැහැනියක් හැටියට ගමේ ජීවත් වෙද්දී මගේ ජීවිතය නිරායාසයෙන්ම වෙනස් වුණා. බාහිර පෙනුමට වඩා අද මට අවශ්‍ය වෙලා තියෙන්නේ ගුණාත්මක දේවල් සඳහා මගේ ජීවිතය වෙනස් කරගන්න. මම රූපලාවන්‍ය ගැන නොසැලකිලිමත් වෙන කෙනෙක්ම නෙවෙයි. නමුත් මෝස්තර කිරීමේදී මගේ වයසට ගැළපෙන දේවල් පමණක් කරන්න අද මම පරෙස්සම් වෙනවා. අපි වියපත් වෙද්දී ඊට ගැළපෙන සුන්දරත්වයක් ලබා ගන්න උත්සාහ කරනවා මිසක් දැන් මේ අවුරුදු දහසයේ ළමයි කරන දේවල් කරගෙන මම දැඟලුවොත් ඒක හාස්‍යයට කරුණක් වෙනවා. මම අවුරුදු විසි දෙකක දුවක් ඉන්න අම්මා කෙනෙක්. එතකොට මම ඒ මාතෘත්වයට සරිලන විදිහට, මගේ දේශපාලන ජීවිතයට ආදර්ශයක් වෙන අන්දමට තමයි අද හැසිරෙන්න ඕනෑ. අනෙක මට විලාසිතා කරකර ඉන්න වෙලාවකුත් නැහැ.

ඔබ දේශපාලන වේදිකාවට ගොඩ වෙන්නෙත් දේශපාලන කටයුතුවල නියැළෙන්නෙත් සාරියකින් සැරසී. සාරියට පමණක් සීමා වුණෙත් ඒ නිසා ද?

මට මතක් වෙනවා ලස්සන කතාවක්. මේක කියන්න ඕනෑ. ඉස්සර මම සාරි අඳින්නේ නෑ. මට අන්දනවා. සාරි අන්දන්න එක්කෙනයි. මේකප් දාන්න එක්කෙනයි. කොණ්ඩෙ හදන්න තව කෙනෙක්. අද මට එහෙම අවශ්‍ය නෑ. අද මට සාරියක් ඇඳගන්න යන්නේ විනාඩි දහයයි. ටක් ගාලා යන්න පුළුවන්. අඳින්නෙම ලාභ ඔයිල් සාරි. ඒ ඔයිල් සාරි අතර රුපියල් 500 කට වඩා වැඩි එකක්වත් නැහැ. එදා මම පනස් දාහ, ලක්ෂය දීලා සාරි අරගෙන තියෙනවා. අද මම ඒ ගැන පසුතැවෙනවා. තාම ඒ සාරි තියෙනවා. ඒවා විකුණලා දාලා ඒ මුදලින් මිනිසුන්ට මොනවා හරි කරන්න මට පුළුවන්. අද රුපියල් පන්සීයේ ඔයිල් සාරි ඇන්දා කියලා මගේ වටිනාකම අඩුවෙලා නැහැ. මගේ වටිනාකම තක්සේරු කරන්නේ මම අඳින සාරියෙන් නෙවේ. මම කරන ක්‍රියාවෙන්. ඒ බව මම වටහා ගත්තා.

සඳළු තලෙන් මහ පොළොවට බැහැලා, පීඩිත ජනතාවත් එක්ක ගත කරන මේ ජීවිතය ගැන ඔබ අවංකවම සතුටු වෙනවාද?

කියන්න අසංක, මට දේශපාලනයෙන් ගන්න තියෙන්නේ මොනවද කියලා. අද පාර්ලිමේන්තුවට යන එක ලොකු දෙයක් ද? පාර්ලිමේන්තුවට යන්නම ඕනෑ නම් මැතිවරණය කිට්ටු කරලා ඡන්ද ව්‍යාපාරවල යෙදෙන එකනේ සාමාන්‍ය විදිහ. මම කරන්නේ එහෙම නෙවේ. 94,000 ක ජනතාවක් ඉන්න අවුරුදු විස්සකින් කිසිම මන්ත්‍රීවරයෙක් පත් නොවුණ මේ ආසනය මම බාර ගත්තේ ජනතාවට සේවය කරන්න. මට ඡන්ද 36,000ක් හම්බ වුණා.

‘ගන්න’ මිසක ‘දෙන්න’ දේශපාලනයට ආපු අය අපේ රටේ ගොඩක් විරළයි?

මට දේශපාලනයෙන් ලබා ගන්න දෙයක් නෑ. අවංකවම නෑ. අනෙක අද ගැහැනියක් දේශපාලනයට යොමු වෙන එක ලොකු අභියෝගයක්. හතර වටෙන්ම පහර දෙනවා. හරියට අර ‘චංගුමී’ට වගේ. මේ පැත්තෙන් කෙනෙක් කුමන්ත්‍රණය කරද්දී තව කට්ටියක් තව උගුලක් අටවනවා. නින්දා, අපහාස කරනවා. හිතපුවත් නැති දේවල් ගොතලා කියනවා. ඒ වගේ දේවල් මේ දේශපාලනයේ තියෙනවා. ඒ සියලු අභියෝගයන්ට මම මුහුණදීමට සූදානම්.

එතකොට ඔබ ‘අභීත දියණියක්’ හැටියට ඒ දේශපාලන පොර පිටියේ සටන් වදිනවා?

අනිවාර්යයෙන්ම. මම කාටවත් බය වෙන්නේ නැහැ. මොකද විජය කුමාරණතුංග කියපු කතාවක් මට මතක් වෙනවා. ‘චිත්‍රපටයක රඟපාමින් ඉන්න කොට මැරෙනවට වඩා මම මේ ජනතාව එක්ක ඉන්න වෙලාවක මැරෙන එක වටිනවා’ කියලයි ඔහු කිව්වේ. ඒක ඇත්තෙන්ම ඔහුගේ හදවතින්ම කියූ කතාවක්. ඔහු පරමාදර්ශී දේශපාලනඥයෙක්. ඔහු වගේ කෙනෙක් අද වගේ කාලෙක නොසිටීමේ අඩුව දැන් තමයි මට තේරෙන්නේ. ඉස්සර මට තේරුණේ නෑ. නමුත් අද මට තේරෙනවා එදා ඔහු කරන්න හදපු දේ. ඔහුට කොයි තරම් බාධක එල්ල වුණා ද, මොන වධ දුන්න ද, මොන තරම් කැපිලි කෙටිලි ආවාද? දේශපාලනයේ තියෙන්නේ අවස්ථාවදී දේවල්. නමුත් මට අවශ්‍ය එක දෙයයි. ඒ ජනතාව වෙනුවෙන් යමක් කළ කෙනකු හැටියට මිය යාම.

එතකොට මේ පවතින දේශපාලන ප්‍රවාහයේ උඩු ගං බලා යාමටයි ඔබ තැත් කරන්නේ?

උඩුගං බලා යාමට නෙවෙයි, දේශපාලන ක්‍රියාවලියේදී අනෙක් අය කරන ඒවා එක්ක මටත් එකඟ වෙන්න වෙනවා අකැමැත්තෙන් වුණත්. එතකොට මමත් ඒගොල්ල එක්ක අර ගඟ ගලන දිශාවටම පීනනවා.

එතකොට ඔබට හිතෙන්නේ නැද්ද අනේ දේශපාලනයට ඇවිත් මට වෙච්ච දේ කියලා?

නෑ, මට හිතෙන්නේ දේශපාලනයට ආවට පස්සේ මම ජනතාවට මොන තරම් සේවයක් කළා ද කියලයි. එදා තිරයෙක් දැකලා සතුටු වෙච්ච මිනිස්සුන්ට අද මම රස්සාවක් අරන් දීලා, එහෙම නැතිනම් පාරක් හදලා දීලා, ඒ අයගේ මරණෙට, මඟුලට සහභාගි වෙලා ඔවුන් අතරේම ජීවත් වෙනවා. එහෙම දෙයක් කරන්න මම මොන තරම් පිනක් කරලා තියෙන්න ඕනෑ ද? ඒක ලේසියෙන් කෙනෙකුට ලබා ගන්න බෑ. ඈතින් ඉඳලා තරු දිහා බලාගෙන ඉන්න කොට තරුවේ දිස්නෙ විතරයි දකින්නේ. තරු අල්ලන්න බෑ කියලා හිතෙනවා ඈතින් ඉන්නකොට. ඒත් ළං වුණාම මිනිස් ඇට, ලේ, නහර තියෙන සාමාන්‍ය ගැහැනියක් නේද මේ කියලා හිතෙනවා මිනිස්සුන්ට. මහ පොළොවට බැස්සම මිනිස්සුන්ගේ දුක තේරුම් ගන්න පුළුවන්.

ඔබ ජන වරමක් පතන්නේ ජනතාවට සේවයක් කරලා?

නළු, නිළියන් හුදෙක් දේශපාලනයට එන්නේ දඩි බිඩි ගාලා මොනවා හරි කරගෙන පාර්ලිමේන්තුවට යන්න කියන මතය වෙනස් කරන්නයි මම දේශපාලනයට ආවේ. මට එදා පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වුණේ අවංකවම ජනතාවට සේවයක් කරන්න. නමුත් ඒක පිළිගත්තේ නෑ මිනිස්සු. අද පිළිගන්නවා. පැරදුණත් මම දාලා ගියේ නෑ. මම ජනතාව එක්ක ඉඳගෙන ඔවුන්ට සේවය කරනවා.

නිළි රැජන මාලිනී ෆොන්සේකා අද පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. ඔබේ පසු පරපුරේ නිළියක වූ උපේක්ෂා ස්වර්ණමාලි පවා අද පාර්ලිමේන්තුª මන්ත්‍රීවරියක්. පාර්ලිමේන්තුවට යන්න නොහැකිවීම ගැන ඇත්තටම ඔබේ හිතේ කනගාටුවක් නැද්ද?

මට වඩා කනගාටු වෙනවා, බෙන්තර – ඇල්පිටිය ජනතාව දැන්. ඔවන්ට ලොකු අසාධාරණයක් වුණා. අපේක්ෂකයන් දෙදෙනෙක් ඡන්දෙට දැම්මා. ඒ අවස්ථාවේදී මිනිස්සු දැනුම්වත් වෙලා හිටියේ නෑ කාටද ඡන්දෙ ;දන්නේ කියලා. අපට මන්ත්‍රී කෙනෙක් නැති වුණේ කාගේ වරදින්ද කියන එක ගැන බෙන්තර ඇල්පිටිය ජනතාව තදින් දෝෂාරෝපණය කරනවා. ඔවුන් මුදලට යට කරන්න පුළුවන් අය නෙවෙයි. සමහරු හිතනවා මුදල් ටිකක් විසි කළාම නැතිනම් මොනවා හරි දුන්නාම බෙන්තර - ඇල්පිටිය ජනතාව අල්ල ගන්න පුළුවන් කියලා. නමුත් එහෙම නෑ. ඔවුන් තමන්ගේ ගමට ආදරෙයි. ගමේ පාසලට, පන්සලට ආදරෙයි. ඒ පළාතේ සංඝයා වහන්සේලා බොහොම එකමුතුයි. මට මේ වෙලාවේ කියන්න ඕනෑ බෙන්තර – ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති ගයාන් සිරිමාන්න මහත්මයා මට හුඟාක් උදවු කරනවා. එතකොට ඇල්පිටියේ පොන්නම්පෙරුම මහත්මයා වගේ අය. මේගොල්ල හැමෝම මට ගොඩක් ලොකු සහයෝගයක් දක්වනවා.

මේ කතාබහේදී ඔබ ‘චංගුමී’ ගැනත් සඳහන් කළා. මුළු රටක් වසඟ කළ චරිතයක් ඇය. තවත් යමක් පවසන්නට ඇති ඈ ගැන?

ඇත්තටම මම මුළු කතාවම වගේ බැලුවා. ඒ දවස්වල ‘සුජාත දියණිය’ බලන්න 6.00 වෙනකොට කොහේ හිටියත් ගෙදරට ආවා. ඒ වගේ විහිළු කතාත් තියෙනවා. මම ඒක බලන්න හේතුªවුණේ මට චංගුමී ජීවිතයට හුඟාක් සමීප වුණ නිසා. මම ඇයට පිස්සු වැටුණා කිව්වොත් හරි. චංගුමීට මොන තරම් කුමන්ත්‍රණ කළා ද? සතිපතා කුමන්ත්‍රණ. මටත් ඒ වගේ. ඊටත් වඩා. ඊයේ එකක්. අද එකක්. දවස ගාණේ. ‘සුජාත දියණිය’ කතාවේ සුන්දරත්වයට වඩා එහි ඇතුළත තිබෙන තේරුම හරි ප්‍රබලයි. ඒකෙදි කියන්නේ ගැහැනියකට ඕනෑම දෙයක් කරන්න පුළුවන්. පළවෙනි එක කවදාවත් වෛද්‍ය වෘත්තිය හදාරපු නැති ඇය, රාජකීය වෛද්‍යවරියක බවට පත් වෙනවා. දෙක ඇය සැම විටම සත්‍යයට ගරු කළා. මරණය ඉදිරියේවත් බොරු කිව්වේ නෑ. ඇය අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතුª කළ තැනැත්තියක්. තුන්වැනි කරුණ, ඇය කරන දේ හරියට කළා. මම හිතන්නේ මේ රටේ සියලු කාන්තාවන්ට චංගුමී පරමාදර්ශී චරිතයක්. ඇය අපේ රටේ කෙනෙක් නෙවේ. නමුත් මේ හරය විතරයි අපට වැදගත් වුණේ.

අපි වැඩිපුර කතාබහ කළේ ඔබේ දේශපාලන භූමිකාව ගැන. ඒත් සිනමාව අමතක කරන්න බැහැනේ. කාලෙකට පස්සේ මම හිතන්නේ ඔබ රංගනයෙන් චිත්‍රපටයකට දායක වුණා?

‘සිරි දළදාගමනය’ චිත්‍රපටයේ මම රඟපෑවා. දවස් දෙකයි ෂූටිං තිබුණේ. ලක්ෂ පහක් ගෙව්වා. එතෙක් මම කිසිම කලා කටයුත්තකට සහභාගි වුණේ නෑ. නමුත් මගේ ප්‍රේක්ෂක ජනතාවට මම අසාධාරණයක් කරන්නේ නැහැ. මේ අවිවේකි ගතිය පොඩ්ඩක් මඟහැරුණාම මම ආයෙත් සිනමාවට එනවා. මට සිනමාව අමතක කරන්න බැහැ. අර කතාවක් තියෙනවානේ ‘ඔබ නළුවෙක්නම් සදා කාලයටම නළුවෙක්’ කියලා. ඒකෙන් ගැලවෙන්න මෙහෙම නෙවෙයි රජකම දුන්නත් බැහැ. සිනමාවේ ඉඳලා රජකමට ගිය අයත් ඉන්නවා. ග්‍රේස් කෙලීගේ ජීවිත කතා පොතේ ඇය අවසානයට කියනවා ‘රජ කුමරියක් වුණාට වඩා සිනමාවේ හිටියා නම් මම වඩාත් සතුටු වෙනවා’ කියලා. සිනමාව කියන්නේ එතරම් සුන්දර දෙයක්. සිනමාව නරකයි කියලා වචනයක්වත් කියන්න එපා. ඊට වඩා හුඟක් නරකයි දේශපාලනය.

එතකොට දේශපාලනයට ගිය නළු, නිළියෝ?

සිනමාවෙන් දේශපාලනයට ගිය අය කවදාවත් දුෂ්ටයෝ නෙවෙයි. වෛරක්කාරයෝ නෙවෙයි. චිත්‍රපටයක චරිතයක් ගන්න කියලා කාට හරි පිහියෙන් ඇනපු කෙනෙක් සිනමාවේ හොයා ගන්න බැහැ. සුළු, සුළු ප්‍රශ්න අප අතරේ නැතුවාම නෙවෙයි. ඒත් ඒවා හරියට අර සෝඩා බෝතලේ කැඩුවා වගේ. නමුත් දේශපාලනයේ තියෙන්නේ තනිකරම කුමන්ත්‍රණ, යටිකූට්ටු වැඩ, හොර වැඩ.

යක්ෂයෝ, භූතයෝ, පිසාචයෝ සේරම ඉන්නවා?

සියල්ලම ඉන්නවා. කුඹුරට බහින්නට ඕනෑනේ මඩ ගෑවෙන්න. ගැඹුර බලන්න ගඟට බහින්නම ඕනෑ. නැතිනම් හොයා ගන්න බෑනේ. දේශපාලනයට ආපු මේ ටික කාලය තුළ බොහෝ දේවල් මම දැනගත්තා. හිතා ගන්නවත් බැරි දේවල් වෙන්නේ. මේක පුදුම ලෝකයක්.

ඔබ නොයකුත් චරිත ඔස්සේ සිනමාවෙන් අප අතරට පැමිණියා. ඒ රංගනයන් දිහා ආපසු හැරී බැලුවොත් අද මොකද හිතෙන්නේ?

මට හරිම අප්සෙට්. හුඟාක් ඒවා දැක්කම හිතෙනවා, අනේ ඇයි මම මේවා මේ විදිහට කළේ කියලා. අපරාදේ දැන් හම්බ වෙනවා නම් ඕක ඔය විදිහට නෙවේනේ කරන්නේ කියලා හිතෙනවා. ඒක නිසා පරණ චිත්‍රපට මම දැන් බලන්නෙත් නෑ.

නමුත් ප්‍රේක්ෂකයා එහෙම හිතන්නේ නෑ?

ඒ ප්‍රේක්ෂකයොනේ. මේ මට හිතෙන එකනේ. අයියෝ අපරාදේ, ෂා මම කළේ නැද්ද මේ ටික. කළාට පස්සේ ඩිරෙක්ටර් කපලා ද කියලත් හිතෙනවා. ඇයි මෙතැන මගේ රියැක්ෂන් එකක් එන්නේ නැත්තේ. අයියෝ මෙතන වැඩියෙන් කරන්න තිබ්බා. මෙතැන අඩුවෙන් කරන්න තිබ්බා. හැම දේ ගැනම මට හිතෙනවා තව හොඳට කරන්න තිබුණා කියලා පසුතැවිල්ලක්.

ඒ කියන්නේ එකම චරිතයක් ගැනවත් ඔබ සෑහීමකට පත්වෙන්නේ නැතිද?

හරියටම කළා කියන්න පුළුවන් නළුවෙක්, නිළියක් මේ ලෝකෙම නැතුව ඇති. කවුද දන්නේ තිර රචකයා ඒ චරිතය ලිව්වේ මොනවා හිතාගෙන ද කියලා. සමහර විට මම කරන දේට වෙනස් දෙයක් වෙන්න පුළුවන්. ඒකයි මේ සිනමාව තුන් හතර දෙනෙකුගේ එකතුවක් කියන්නේ. කැමරමන් හිතනවා එක විදිහකට. ඩිරෙක්ටර් හිතනවා තව විදිහකට. ස්ක්‍රිප්ට් රයිටර් හිතනවා එක විදිහකට. නළුවා හෝ නිළිය තව විදිහක්. දැන් මේ සේරමලාගේ සිතිවිලි එකට එකතු වෙලා තමයි එන්න ඕනෑ චරිතය. බැරි වෙලාවත් කැමරමන් හිතුවොත් මෙතන මෙහෙම නෙවෙයි වෙන්නේ කියලා. එයා යනවා ටයිට් ක්ලෝස්අප් එකකට. අධ්‍යක්ෂවරයා හිතන් ඉන්නේ මෙතන දෙපැත්තටම නැති රංගනයක්. ඔයාට කේන්ති යන්නත් බෑ. වැඩිය සතුටු වෙන්නත් බෑ. ගාණට. හරි. නෑ ස්ක්‍රිප්ට් රයිටර් කියනවා මම හිතුවේ එහෙම දෙයක් නෙවේ කියලා. ඒ නිසා තමයි කියන්නේ සිනමාවේ චරිතයක් ගොඩ නැගීමේදී සියයට සීයක් සාර්ථකව චරිතය ගොඩ නගන්න නම් ඔය කියන කණ්ඩායම එක් අයකු වෙන්න ඕනෑ.

එහෙම එකමුතු වූ අවස්ථා ඔබේ සිනමා දිවියේ නැතිද?

තියෙනවා. ‘ලොකු දුව’ එවැනි අවස්ථාවක්. අධ්‍යක්ෂ සුමිත්‍රා පීරිස්, තිස්ස අබේසේකර මහත්මයා, විලී බ්ලේක් නළු, නිළියෝ අපි කී සැරයක් මේක ස්ටඩි කළාද? ඇවිල්ලා කතා කරලා, කරලා සෙට් එකට යද්දී අපි සියල්ල එක් අයෙක් වෙලා ගියේ. ඔන්න අපි දන්නවා මේ ඉන්නේ පුන්ණා. අතෑරපන් ගීතා. අධ්‍යක්ෂවරියගේ විධානයට අපි සියල්ලම එකඟ වෙනවා. එහෙම අවස්ථාවන් සිනමා ජීවිතයේ තියෙනවා. ඒත් සියයට සීයක්ම සෑහීමකට පත් වෙන්න බෑ.

සංවාදය – අසංක දේවමිත්‍ර පෙරේරා
ඡායාරූපය - ටෙනිසන් එදිරිසිංහ  

Blog Archive